දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්වූ බදුල්ල, සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දුන්හිඳ දියඇල්ල පරිශ්‍රයේ නව නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඊයේ (27) නිල වශයෙන් ආරම්භ විය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, දුන්හිඳ පැරණි නැරඹුම් වේදිකාව අසලදී මෙම උත්සවය පැවැත්විණි. වසර 50 කට වඩා පැරණි, දැනට අබලන් තත්ත්වයේ පවතින නැරඹුම් වේදිකාව වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නව මධ්‍යස්ථානය සඳහා රුපියල් ලක්ෂ 200 ක (මිලියන 20ක්) ප්‍රතිපාදන ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය මගින් වෙන් කර ඇත.
ඌව පළාතේ සංචාරක කර්මාන්තය නැංවීම සහ නැරඹුම්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙය ක්‍රියාත්මක වන අතර, මෙයින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් උදෙසා උසස් ප්‍රමිතියෙන් යුතු නැරඹුම් අත්දැකීමක් සහ අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට නියමිතය.














