නිසි ලෙස අස්ථාපනය කර නොමැති නම් ඒවා නිවැරදි කිරීම සඳහා ඇමරිකාවේ ලියාපදිංචි කර ඇති බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා සිය ගණනක ආසන පරීක්ෂා කිරීමට සිදු විය හැකි බව එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සඳහන් කර තිබේ.
මෙම ආසන නිසි පරිදි සවි කර නොමැති නම්, හදිසි ගොඩබෑමකදී මගීන්ට සහ කාර්ය මණ්ඩලයට තුවාල සිදුවීමට හෝ ගුවන් යානයෙන් ඉවත් වීමේදී මංපෙත් අවහිර වී එය ප්‍රමාද වීමට හේතු විය හැකි බව එෆ්ඒඒ (FAA) ආයතනය පෙන්වා දෙයි. වැඩිවූ බරක් හෝ දරුණු කැළඹීමකදී (turbulence) මෙම ආසන එකිනෙකින් ගැලවී යාමේ අවදානමක් පවතී.
මෙම යෝජිත යෝග්‍යතා නියෝගය (airworthiness directive) යටතේ ඇමරිකාවේ ලියාපදිංචි ගුවන් යානා 453ක් ආවරණය වේ. ලොව පුරා 737 මැක්ස් යානා 2,300කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යෙදී ඇති අතර, ඉන් 823ක්ම ඇමරිකාවේ ක්‍රියාත්මක වේ.
එක් යානයක ආසන පරීක්ෂා කිරීමට පැයක පමණ කාලයක් ගත වන අතර, අලුත්වැඩියා කිරීමටද තවත් පැයක් පමණ ගත වේ. කිසිදු අමතර උපාංගයක් අවශ්‍ය නොවන මෙම පරීක්ෂාව සඳහා ගුවන් සේවාවන්ට එකවර බහු සේවකයින් යොදවා කාලය අවම කර ගත හැක. බෝයිං සමාගම ප්‍රකාශ කර ඇත්තේ, මෙම ගැටළුව සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බරයේදී ගුවන් සේවා ක්‍රියාකරුවන්ට උපදෙස් ලබා දී තිබූ අතර, එෆ්ඒඒ ආයතනය එය අනිවාර්ය කිරීම සම්පූර්ණයෙන්ම අනුමත කරන බවයි.














