සුදු මැස්සා මෙරටට ඇතුළු වීම හේතුවෙන් දේශීය වගාවන්ට විශාල හානියක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.
වගාවන්ට සිදු වූ බරපතළ හානි හේතුවෙන් යුරෝපීය වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන අපනයනය කිරීමේදී බාධා මතුව ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ආනයනික භාණ්ඩ සමඟ මෙම කෘමි සතුන් සහ පුස් වර්ග රට තුළට ඇතුළු වීම පිළිබඳව ඔහු දැඩි චෝදනා එල්ල කරයි.
නිසි පරීක්ෂාවකින් තොරව කන්ටේනර් නිදහස් කිරීම සහ සාම්පල් පරීක්ෂණවලින් සුදු මැස්සන් සිටින බව තහවුරු වූ පසුවත් අදාළ කන්ටේනර් එළියට යැවීම වැනි බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බව ඔහු සඳහන් කරයි. මෙලෙස අට වතාවක් කන්ටේනර් 100කට අධික ප්‍රමාණයක් නිසි සනීපාරක්ෂක ප්‍රමිතීන් නොමැතිව මෙරටට ගෙනවිත් ඇති අතර, එමගින් මෙරට වගාවන් දැඩි ලෙස හානියට පත්ව ඇත.
වගාවන්හි සුදු මැස්සා හෝ පුස් වර්ග දක්නට ලැබේ නම් ඒ පිළිබඳව වහාම පැමිණිලි කරන ලෙසත්, එවැනි අවස්ථාවලදී නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














