තමන්ගේ ජීවිත අවදානම පවා නොතකා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ ප්‍රේෂණ විශාල ප්‍රමාණයක්, ‘ග්ලෝබල් රෙමිට්’ (Global Remit) නමැති මුදල් හුවමාරු ආයතනයකට එල්ල වූ හැකර් ප්‍රහාරයක් හේතුවෙන් මාස දෙකක සිට අතුරුදන්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා අද (11) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.
අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පසුගිය අප්‍රේල් සහ මැයි මාසවල ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ වැටුප් ඇතුළු ප්‍රේෂණ මෙලෙස අතුරුදන්ව ඇති බවයි. මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකුවක් සහ පෞද්ගලික බැංකුවක් විසින් මෙම ‘ග්ලෝබල් රෙමිට්’ ආයතනය හරහා මුදල් එවන ලෙස ශ්‍රමිකයන් දැනුවත් කර තිබූ බව ද, මේ වන විට මුදල්වලට සිදු වූ දෙයක් සොයා ගැනීමට නොහැකිව ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















