පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සැඟවුණු සත්‍ය සෙවීමේ පරීක්ෂණවලට බාධා නොකරන ලෙස ඉල්ලමින් එම ප්‍රහාරයේ වින්දිතයන් සහ ඔවුන්ගේ ඥාතීන් පිරිසක් මීගමුව, කටුවපිටිය ප්‍රදේශයේදී ඊයේ (11) නිහඬ විරෝධතාවක නිරත වූහ.
“විමර්ශකයන්ට සහ නීතිපතිට තර්ජනය කරන අය වහා අත්අඩංගුවට ගනු” සහ “නීත්‍යනුකූල පරීක්ෂණවලට කරන බාධා කිරීම් වහා නවත්වනු” යනුවෙන් සඳහන් බැනර් සහ පෝස්ටර් මෙන්ම ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ දරුවන්ගේ ඡායාරූප ද අතැතිව ඔවුහු මෙම විරෝධතාවට එක්ව සිටියහ. තමන් තවමත් ජීවත් වන්නේ දැඩි මානසික වේදනාවකින් බවත්, වත්මන් රජය මඟින් සිදු කෙරෙන පරීක්ෂණ නිසි පරිදි ඉදිරියට ගෙනයෑමට ඉඩ දිය යුතු බවත් මෙහිදී අදහස් දැක්වූ වින්දිත මව්පියෝ අවධාරණය කළහ.
















