නීති විරෝධී ලෙස රාජකාරිය පැහැර හැරීමට අනුබල දීමේ චෝදනා මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මඟින් චෝදනා 855ක් යටතේ නඩු පවරා ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසයි. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් රාජ්ය නිලධාරීන්ගේ නොසැලකිල්ල පදනම් කරගනිමින් නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්රථම වතාවට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු සභාවක් හමුවේ මෙලෙස නඩු පවරන ලද බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ විශේෂ අවධානය යොමු කළ යුතු නැති ලිපි සඳහා පමණක් ‘FNA’ (සුදුසු කටයුතු පිණිස) ලෙස සටහන් කරන ලෙස අධිකරණය මඟපෙන්වීමක් කර ඇති බවයි. එසේ තොරතුරක් පහළ නිලධාරීන්ට යොමු කර නොසලකා හැරීමෙන් යම් අපරාධයක් සිදුවුවහොත්, එහි ප්රථම වගකීම එකී ඉහළ නිලධාරියා භාරගත යුතු බැවින් රාජකාරි මට්ටමින් ‘FNA’ ලෙස යැවීමේ පරිපාටිය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු කාලය පැමිණ ඇති බව හෙතම අවධාරණය කළේය.
එමෙන්ම, රාජ්ය නිලධාරීන්ට යම් නීති විරෝධී නියෝගයක් ලැබෙන්නේ නම්, එහි සම්පූර්ණ වගකීම තමන් වෙත පැවරෙන බැවින්, එම උපදෙස් ලබා දුන්නේ කවුරුන්ද යන්න ලේඛනගත කිරීමට කිසිදු ලෙසකින් පැකිලිය යුතු නැති බවද ඔහු පෙන්වා දුන්නේය. දේශපාලඥයන් විසින් කරනු ලබන වංචා හා දූෂණ සම්බන්ධයෙන් FCIDය මඟින් කෙරෙන පරීක්ෂණවලදී පවා බොහෝ තීරණ ගෙන ඇත්තේ රාජ්ය නිලධාරීන් බවත්, දේශපාලනඥයන් ලේඛනවල සටහන් නොතැබීමට ප්රවේශම් වී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
















