මධ්‍යම අප්‍රිකානු රටක් වන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) ඉබෝලා වෛරසය ඉතා වේගවත් සහ භයානක ලෙස පැතිර යමින් පවතින බව වාර්තා වේ. සෞඛ්‍ය අංශ නිකුත් කළ නවතම දත්තවලට අනුව, පසුගිය පැය 24 තුළ පමණක් ඉබෝලා ආසාදිතයන් 72 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති අතර, එම කාලය තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 29කි.
මෙම වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ මුළුමනින්ම ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, මෙය වෛද්‍ය ක්ෂේත්‍රයට විශාල අභියෝගයක් වී තිබේ. පෙර නොවූ විරූ මට්ටමකින් ව්‍යාප්ත වන මෙම මාරාන්තික වෛරසය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වී ඇත.
සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන් සහ අවතැන් කඳවුරුවල පවතින අධික ජනගහනය වෛරසය වේගයෙන් පැතිර යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි. වෛරසය පාලනය කිරීම සඳහා හදිසි පියවර ගනිමින් සිටින නමුත්, ප්‍රදේශවාසීන් අතර පවතින අවිශ්වාසය සහ නොදැනුවත්කම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සහ ආසාදිතයන් සොයා ගැනීම අසීරු වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය ආයතන මෙම තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ක්ෂණික සහ දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත.
















