මෙරට වෛද්‍ය, ඉංජිනේරු සහ කෘෂිකර්ම අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පත් කරන ලද විශේෂ විද්වත් කමිටුවේ සාමාජිකයන් සහ අධ්‍යාපන අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙම ක්ෂේත්‍ර වෙනුවෙන් විධිමත් ජාතික ප්‍රතිපත්තියක් කාලයක සිට නොතිබීම හේතුවෙන්, ඊට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම නව ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේදී වඩාත් විනිවිදභාවයකින් කටයුතු කිරීමට රජය සැලසුම් කර ඇත. ඒ අනුව, ලබන 26 වැනිදා පැවැත්වෙන මූලික සාකච්ඡාවෙන් අනතුරුව, අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් සහ කොටස්කරුවන් කැඳවා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට කමිටුව පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ විද්වතුන්, වෘත්තිකයන් සහ විශේෂඥයින් රැසකගෙන් සමන්විත මෙම කමිටුව හරහා ඉදිරියේදී මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවිය හැකි ශක්තිමත් සහ ස්ථාවර ජාතික රාමුවක් බිහි වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි විශ්වාසය පළ කරයි.














