27 April 2024
#දේශීය

දුෂ්කර ප්‍රදේශයන්හි භික්ෂු සහ ගිහි සිසුන්ට අධ්‍යාපනික උපකරණ

දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේ, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, පරිගණක යන්ත්‍ර, අධ්‍යාපනික උපකරණ සහ පාවහන් තිලිණ පත් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

මේ යටතේ මොණරාගල, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කෑගල්ල, රත්නපුරය, වවුනියාව, මුලතිව්, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි දුෂ්කර ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලුම ගිහි – පැවිදි සිසුන්ට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කෙරේ. ඒ සඳහා දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 30කි.

මෙහි සමාරම්භය සනිටුහන් කරමින් අද (30) පෙරවරුවේ අරලියගහ මැදුරේ දී ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව ශිෂ්‍යත්ව සහ අධ්‍යාපනික උපකරණ පිරිනැමිණ.

මූලික පිරිවෙන් අවසාන පරික්ෂණයෙන් සහ ප්‍රාචීන ප්‍රාරාම්භ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ විසිනමකට විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය ද මෙහිදී සිදු වූහ. වැඩසටහන යටතේ පිරිවෙන් සඳහා රුපියල් මිලියන 12ක සෞන්දර්යය උපකරණ කට්ටල බෙදා දීම ද සිදු කෙරේ.

දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ (www.piriven.gov.lk) නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

මෙම අවස්ථාවට පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, පූජ්‍ය බලංගොඩ සෝභිත හිමි, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි, ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමි ඇතුළු මහා සංඝරත්නය සහ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, සුසිල් ප්‍රේම්ජයන්ත්, පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක සහ සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහු, රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරිහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *