27 April 2024
#සංවර්ධන

බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ අට මහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ අලුතෙන් ඉදිකරන ලද අට මහල් වාට්ටු සංකීර්ණය හෙට (24) ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

ඒ්, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙනි.

උත්සවයට, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ඇතුළු මැති ඇමතිවරු සහභාගී වෙති.

ආයුර්වේද රෝහල් පද්ධතිය නූතනයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව අදියර තුනක් (03) යටතේ මෙම සංවර්ධනය ව්‍යාපෘතිය ආරම්භ විය. එහි ප්‍රථම අදියර ලෙස රුපියල් මිලියන 200 ක වියදමින් ඉදිකළ පස්මහල් බාහිර රෝගී අංශය 2008 වර්ෂයේදී ජනතා අයිතියට පත් කෙරුණි. දෙවන අදියර යටතේ රෝගීන් 360 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි මෙම වාට්ටු සංකීර්ණය ඉදි කරනු ලැබීය.

රුපියල් මිලියන 1,906 ක ආයෝජන වටිනාකමක් ඇති ව්‍යාපෘතිය ශල්‍ය වාට්ටු, පොරොත්තු වාට්ටු, සහ කාන්තා රෝග වාට්ටුවලින් සමන්විතය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයුර්වේද ජාතික රෝහල වන මෙහි කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය සහ යුනානි උපාධිය හදාරණ සිසුන් ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාලවල ආයුර්වේද හා යුනානි උපාධිය හදාරණ උපාධි අපේක්ෂකයන්ට සීමාවාසික පුහුණුව සැපයේ.

ජාතික සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක නිරත මෙම රෝහල් සංකීර්ණය වෛද්‍යවරු 120 දෙනෙක් සමග හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් සමන්විතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *