එල් නිනෝ සහ ලා නිනා වැනි දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සාගරික පරිසර පද්ධතිවලට සහ උභයජීවී විශේෂවලට එල්ල වී ඇති බරපතළ තර්ජන පිළිබඳව දේශගුණික සංසදය මගින් දැඩි අවධානයක් යොමු කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම සංසදයේදී, වෙරළබඩ කලාප සහ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
සාගර ජල උෂ්ණත්වය ඉහළ යාම නිසා කොරල් පර විරංජනය වීම, මත්ස්‍ය ගහනයේ වෙනස්කම්, විෂ ඇල්ගී වර්ධනය සහ ඔක්සිජන් අවම කලාප ඇතිවීම වැනි පාරිසරික අස්ථාවරත්වයන් ජල පද්ධතිවලට දැඩි බලපෑමක් එල්ල කරන බව නිලධාරීහු පෙන්වා දෙති. එමෙන්ම නියඟ තත්ත්වයන් නිසා ගංගා ජල මට්ටම් පහත වැටීමෙන් පානීය ජල සැපයුමට පමණක් නොව ධීවර සහ සංචාරක කර්මාන්තයට ද බරපතළ ආර්ථික බලපෑම් එල්ල වී ඇති අතර, උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මෙරට උභයජීවී විශේෂවල වාසස්ථාන සහ ප්‍රජනන රටාවන් පවා දැඩි අවදානමකට ලක්ව ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.
ඉදිරියේදී ඇතිවිය හැකි දේශගුණික අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා සාගර නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම සහ ඒකාබද්ධ ජාතික සාගර කළමනාකරණ සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ වැදගත්කම සංසදය විසින් යෝජනා කරන ලදී. අදාළ රාජ්‍ය ආයතන අතර වඩාත් ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ විද්‍යාත්මක දත්ත මත පදනම්ව තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම හරහා ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කර ගැනීමට හැකි වනු ඇතැයි සංසදය අපේක්ෂා කරයි.
















