ලෝකයට එල් නිනෝ (El Niño) තත්ත්වයක් ඇති විය හැකි අවදානම 81%ක් බවට ලෝක කාලගුණික විද්‍යා සංවිධානය පුරෝකථනය කර ඇති බවත්, ඒ අනුව ඍජුවම බලපෑමට ලක්විය හැකි කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, වැවිලි ක්ෂේත්‍රය, ජල කළමනාකරණය සහ බලශක්ති යන අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එල් නිනෝ තත්ත්වය හමුවේ ගතයුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ ඇමැති මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව අවධාරණය කරයි.
පරිසර ඇමැති වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් රැස් විය.
මෙහිදී එක් එක් අංශවලට අයත් රාජ්‍ය ආයතන විසින් එල් නිනෝ තත්ත්වයකට මුහුණදීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීනව සකස් කළ ක්‍රියාකාරී සැලසුම් සාකච්ඡාවට ලක් කෙරිණි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහි ද විශේෂ අවධානය යොමු වූ අතර, අමාත්‍යවරුන් වන සමන්ත විද්‍යාරත්න, වෛද්‍ය සුසිල් රණසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














