ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් එල්නිනෝ තත්ත්වය නිල වශයෙන් තහවුරු කිරීමත් සමග ඉදිරි මාස කිහිපයේදී එය “සුපිරි එල්නිනෝ” තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙහි බලපෑම හේතුවෙන් මෙම සරත් ඍතුවේදී චීනයේ ප්‍රදේශ රැසකට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවයි.
දකුණු චීනයේ ජියැන්ග්නන් ප්‍රදේශය, නිරිතදිග චීනයේ නැගෙනහිර ප්‍රදේශ සහ යැංසි ගංගා ද්‍රෝණියට අධික වර්ෂාව ඇතිවීමේ අවදානම ඉහළ යනු ඇති බවට එරට ජාතික දේශගුණ මධ්‍යස්ථානය පුරෝකථනය කර ඇත. මෙම ගිම්හාන සමයේදී චීනයට බලපෑ ටයිෆූන් සංඛ්‍යාව සහ වර්ෂාපතන මට්ටම් ද සාමාන්‍යයට වඩා ඉහළ ගොස් ඇති අතර, ඉදිරි වසරේ ගිම්හානයේදී එල්නිනෝ බලපෑම තවත් ප්‍රබල විය හැකි බැවින් මධ්‍යම සහ නැගෙනහිර චීනයට දැඩි වැසි සහ ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විශේෂඥයන් අනතුරු අඟවා සිටී.














