මාවනැල්ල – අලුත්නුවර මාර්ගයේ අළුපාත ප්‍රදේශයේදී 15 හැවිරිදි පිරිමි ළමයෙකුට රිය පැදවීම ඉගැන්වීමට ගිය 86 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු එම මෝටර් රථයටම යටවී මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. සිකුරාදා රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
වාර්තා වන අන්දමට, මියගිය පුද්ගලයා සිය මෝටර් රථය පදවාගෙන විත් නිවස අසල නතර කිරීමෙන් පසු, රිය පැදවීම පුහුණු කිරීම සඳහා එහි පාලනය 15 හැවිරිදි නව යොවුන් වියේ පසුවන පිරිමි ළමයාට භාර දී තිබේ. එම අවස්ථාවේදී රථය පාලනය කරගත නොහැකිව ඉදිරියට ඇදී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කෙරේ. බලපත්‍ර රහිතව සහ නොමේරූ වයසේ පසුවන්නන් හට රිය පැදවීමට අවස්ථාව ලබාදීමෙන් සිදුවිය හැකි බරපතළ විපාක මෙම සිදුවීමෙන් නැවතත් තහවුරු වන බව පොලිසිය අවධාරණය කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














