මෙරට වනජීවී සංරක්ෂණය සහ ප්‍රවාහන අංශයම දැඩි උගුඩුවකට හෙළමින් වසර ගණනාවක් පුරා අඛණ්ඩව සිදුවූ වන අලි සහ දුම්රිය ගැටුම්වලට ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ ජාතික මෙහෙයුමක තීරණාත්මක පෙරළියක් සටහන් කරමින්, “පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ අදාළ තාක්ෂණික ව්‍යාපෘතිය සඳහා වන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුම ඊයේ (01) නිල වශයෙන් අත්සන් කරන ලදී. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක වූ මෙම වැඩපිළිවෙළ හරහා, දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකම වහලක් යටට ගෙන එමින් මහජන බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් ජාතික මට්ටමේ ආරක්ෂක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කදම්භ තුනක හඳුනාගැනීමේ තාක්ෂණය, නිෂ්ක්‍රීය අධෝරක්ත සංවේදක, ස්වයංක්‍රීය උෂ්ණත්ව සංවේදක සහ කිලෝග්‍රෑම් 20කට වැඩි බර සතුන් මෙන්ම අනවසර ඇඟිලි ගැසීම් හඳුනාගැනීමේ ටැම්පර් අනතුරු ඇඟවීමේ පද්ධතියකින් සමන්විත මෙම නවීන තාක්ෂණික පද්ධතිය, පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේදී සිදුකළ සාර්ථක නිරූපණ පරීක්ෂණයකින් පසුව ජාතික මට්ටමට අනුගත කර ඇත. දුම්රිය මාර්ග දෙපස සවිකරන විශේෂ සංඥා ලයිට් සහ දුම්රිය එන්ජිම තුළ ඇති තිරයක් හරහා මාර්ගයේ අලියෙකු සිටින ස්ථානය රියදුරුට කල්තියා දැනුම් දීමට හැකිවීම හරහා, මිනිස් ජීවිත හා වන අලි සම්පත එකවර ආරක්ෂා කරගැනීමට අවශ්‍ය විද්‍යාත්මක පදනම මේ සමඟ සකස් වී තිබේ.
මෙම අති නවීන පද්ධතිය ලබන මාසයේ සිට වන අලි අනතුරු බහුලව සිදුවන උපායමාර්ගික ස්ථාන 13ක් මුල් කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර, එහි ප්‍රගතිය ජනතාවට සජීවීව නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් ද හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. දුම්රිය, වනජීවී සහ බැංකු ක්ෂේත්රවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අත්සන් තැබුණු මෙම ගිවිසුම හරහා, මෙතෙක් අභියෝගයක්ව පැවති වනජීවී ආරක්ෂණ ගැටලුවට තාක්ෂණය හරහා සාර්ථකව මුහුණ දීමේ නව යුගයක් රට තුළ ආරම්භ වී ඇති බව පැහැදිලි වේ
















