අතීතයේ මෙන් සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) අවභාවිත කිරීමට කිසිදු ඉඩක් නොමැති බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.
කම්කරු මහ ලේකම් කාර්යාලයේ පැවති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, මෙම අරමුදල්වල සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි ඒවා පරිපාලනය කිරීම රජයේ අරමුණ බවද පෙන්වා දුන්නේය.
වසර ගණනාවක් පුරා කැඳවා නොතිබූ මෙම උපදේශක සභාව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රැස්වූ 11 වන අවස්ථාව මෙය වේ. මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද අදහස් දැක්වූ අතර, සේවක අර්ථසාධක අරමුදල මඟින් එහි සාමාජිකයන්ට වඩාත් ඵලදායී හා කඩිනම් සේවාවක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව මූලික කෙටුම්පත් සකස් කර තිබේ. එම කෙටුම්පත ඇසුරින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇත.














