එරාවුර්, සදාම් හුසේන් පල්ලිය අසලදී පාපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකු යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පාළු ඉඩමකට රැගෙන ගොස් පහරදීමේ පුවතක් වාර්තා වේ. මෙම සිද්ධිය 2026 ජූනි මස 01 වන දින සිදුව ඇති අතර, TikTok සමාජ මාධ්‍ය ජාලයේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවට හේතු වී තිබේ.අදාළ සිද්ධිය ඇසින් දුටු පිරිසක් විසින් එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති අතර, පහරදීමෙන් තුවාල ලැබූ තරුණයා දින තුනක් පුරා එරාවුර් සහ මඩකලපුව රෝහල්වල ප්‍රතිකාර ලබා ඇත. පසුව සමාජ මාධ්‍ය ඔස්සේ එම දර්ශන ප්‍රචාරය වීමත් සමඟ, වින්දිත තරුණයාගේ මව විසින් 2026.06.15 දින එරාවුර් පොලිසියට නිල වශයෙන් පැමිණිලි කර ඇත.පැමිණිල්ල ලැබීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ එරාවුර් පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායම, වීඩියෝ දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනා ගනිමින් විමර්ශන ආරම්භ කරන ලදී.එරාවුර්, මීරාකේණි පාරේ පදිංචි 16 හැවිරිදි පළමු සැකකරු අත්අඩංගුවට ගෙන 2026.06.16 දින එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන ජූනි 30 වන දින දක්වා කල්මුණේ ළමා රැඳවුම් ඒකකයේ රිමාන්ඩ් භාරයට පත් කර ඇත. සිද්ධියට සම්බන්ධ දෙවන සැකකරු වන එරාවුර්, මිච්චි නගර් ප්‍රදේශයේ පදිංචිකරු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව 2026.06.17 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අන්තර්ගතයන් නිසා මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වීම පිළිබඳව අවධානය යොමු කරමින් එරාවුර් පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.















