කටාන පොලිස් බල ප්‍රදේශයේදී කඩුවක් පෙන්වා කාන්තාවකගේ රන් මාලයක් සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු කොටදෙනියාව, කිතුල්වල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. මොහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් ද සොයාගෙන ඇත.පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරු මරදගහ, කටුවැල්ලේගම, මරදගහනෙල්ලි, පන්නල, ගිරිඋල්ල, අලුඇපොල, දූනගහ සහ නෙල්ලිගහමුල ඇතුළු ප්‍රදේශ කිහිපයකම කඩුවක් පෙන්වා බියගන්වා රන් භාණ්ඩ කොල්ලකා ඇති බවයි.කටාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී කොල්ලකෑම සඳහා යොදාගත් කඩුව, යතුරුපැදි දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය සහ මීට පෙර කොල්ලකෑ ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව කියන මෙම සැකකරු අද දින මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කටාන පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.
















