ඉතියෝපියාවේ උතුරු ප්‍රදේශයේ නැවතත් සටන් උත්සන්න වීමත් සමඟ නව සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳ අවධානය යොමුව තිබේ. ඉතියෝපියානු හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් බර්හානු ජුලා පවසා ඇත්තේ ටිග්‍රේ ප්‍රදේශයෙන් එල්ල වන බව කියන ප්‍රකෝපකාරී ක්‍රියා හමුවේ හමුදාව “ප්‍රඥාවෙන් සහ සංයමයෙන්” ප්‍රතිචාර දක්වන බවයි.
එමෙන්ම, ඉතියෝපියානු හමුදා ප්‍රධානියා එරිත්‍රියාවට චෝදනා කර ඇත්තේ ඉතියෝපියාව දුර්වල කිරීමේ අරමුණින් සන්නද්ධ කණ්ඩායම්වලට මූල්‍ය සහ වෙනත් සහාය ලබාදෙන බවටය. කෙසේ වෙතත්, එරිත්‍රියාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
මෑතකදී ටිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණ (TPLF) ඇතුළු සන්නද්ධ කණ්ඩායම් හතක් එක්ව ඉතියෝපියානු රජය ඉවත් කිරීම අරමුණු කරගත් නව සන්ධානයක් පිහිටුවා තිබේ. එම කණ්ඩායම් අතර මීට පෙර එකිනෙකාට එරෙහිව සටන් කළ පාර්ශ්වද ඇතුළත් වීම විශේෂත්වයකි.
2022 වසරේදී ටිග්‍රේ යුද්ධය අවසන් කිරීමට අත්සන් කළ ප්‍රිටෝරියා සාම ගිවිසුමෙන් පසුවද දේශපාලන, භූමි හා ආරක්ෂක ගැටලු කිහිපයක් විසඳී නොතිබූ අතර, මේ වනවිට එම ගිවිසුම දැඩි පීඩනයකට ලක්ව තිබේ. ටිග්‍රේ, අෆාර් සහ අම්හාරා ප්‍රදේශවලට ගැටුම් පැතිර යාමත් සමඟ කලාපීය ගැටුමක් ඇතිවීම පිළිබඳවද අවධානය යොමුව ඇත.
















