ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළට එල්ල වී ඇති ඉතිහාසයේ දරුණුතම බලපෑම හමුවේ, අධික ලෙස ඉහළ යන බලශක්ති මිල පාලනය කිරීම සඳහා වන විශේෂ ක්‍රියාමාර්ග මාලාවක් යුරෝපා කොමිසම විසින් අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම යෝජනාවලියේ ප්‍රධානතම අවධානය යොමු වී ඇත්තේ තෙල් සහ ස්වභාවික වායු මත පවතින යැපීම අවම කර, විදුලි බලය භාවිතය දිරිමත් කිරීම කෙරෙහි ය. ඒ අනුව, පොසිල ඉන්ධනවලට වඩා අඩු මට්ටමක විදුලි බලය සඳහා වන බදු පවත්වාගෙන යාමට යුරෝපා සංගමයේ බදු නීති සංශෝධනය කිරීමට සැලසුම් කර ඇත. මෙමගින් පාරිභෝගිකයන් සහ සමාගම් විදුලි මෝටර් රථ සහ විදුලියෙන් ක්‍රියා කරන තාප පොම්ප (Heat pumps) වැනි පද්ධති වෙත යොමු කිරීම අපේක්ෂා කෙරේ.
එසේම, බලශක්තිය දැඩි ලෙස වැයවන කර්මාන්ත සඳහා පනවා ඇති විදුලි බදු ශුන්‍යය (Zero) දක්වා අඩු කිරීමට රජයන්ට අවස්ථාව ලබා දීමට ද මෙම කෙටුම්පත මගින් යෝජනා කර ඇත. මෙම පියවරයන් හරහා කෙටි කාලීනව බලශක්ති බිල්පත් පාලනය කිරීමටත්, දිගු කාලීනව බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් යුරෝපා සංගමය බලාපොරොත්තු වේ.














