මෑතකදී අවසන් කරන ලද යුරෝපා සංගමය (EU) සහ ඉන්දියාව අතර නිදහස් වෙළඳ ගිවිසුම (FTA) හේතුවෙන් යුරෝපා වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ තරගකාරීත්වයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව මෙරට ඇඟලුම් අංශය අනතුරු අඟවයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ යුරෝපා කොමිසම විසින් පත් කරන ලද උපදේශකයින් අතර පැවති සාකච්ඡා වලදී කර්මාන්ත නියෝජිතයන් මෙම ගැටලු මතු කර තිබේ. ජනවාරි 27 වන දින සාකච්ඡා අවසන් වූ මෙම ගිවිසුම යටතේ ඉන්දියානු ඇඟලුම් සඳහා යුරෝපා සංගමයේ තීරුබදු රහිත ප්‍රවේශයක් හිමිවන අතර, එය යුරෝපා වෙළඳපොළ තුළ ඉන්දීය නිෂ්පාදනවල මිල තරගකාරීත්වය ඉහළ නංවනු ඇත.
මීට අමතරව, GSP+ සහනය යටතේ යුරෝපා සංගමයට ඇඟලුම් අපනයනය කිරීම සඳහා දේශීය නිෂ්පාදකයන් විසින් ඉන්දියාවෙන් ගෙන්වා භාවිතා කරනු ලබන රෙදිපිළි සහ අනෙකුත් ආදානවල සම්භවය පාලනය වන නීති රීති සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදු විය හැක. ඉන්දියානු ආදාන සම්බන්ධ එකතු කිරීමේ (cumulation) විධිවිධානවලින් ප්‍රතිලාභ ලැබීමේ හැකියාව සීමා වුවහොත් එය ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ තරගකාරීත්වය තවදුරටත් දුර්වල කළ හැකි බව කර්මාන්ත නියෝජිතයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය ආරක්ෂා කර ගැනීම සහ කලාපීය සැපයුම් ජාලයන්හි ඒකාබද්ධතාව වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව සමඟ සුදුසු එකතු කිරීමේ විධිවිධාන ලබා ගැනීමට රජය යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කර ඇත. යුරෝපා සංගමය යනු ඇමරිකා එක්සත් ජනපදයට පසු ශ්‍රී ලංකාවේ දෙවන විශාලම භාණ්ඩ අපනයන ගමනාන්තය වන අතර, එය රටේ භාණ්ඩ අපනයනවලින් සියයට 24 ක් පමණ නියෝජනය කරයි.
ඉන්දීය නිෂ්පාදනවල මිල තරගකාරීත්වය ඉහළ යෑමත් සමඟ යුරෝපා සංගමයේ GSP+ යෝජනා ක්‍රමය හරහා හිමිවන වරණීය ප්‍රවේශය අඛණ්ඩව පවත්වා ගැනීම ඉතා වැදගත් වන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.
















