යුරෝපය පුරා වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ රැල්ලක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සමස්ත යුරෝපා සංගමය (EU) පුරා පොදු නීතියක් බවට පත් කිරීමට බලපෑම් එල්ල වෙමින් තිබේ. මෙම නීති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් මේ වන විටත් සූදානම් බව යුරෝපා කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
ප්‍රංශය දැනටමත් මෙම තහනම සම්මත කර ඇති අතර, ඩෙන්මාර්කය ද ඒ සඳහා දේශපාලන එකඟතාවයකට පැමිණ තිබේ. ස්පාඤ්ඤය වයස අවුරුදු 16 දක්වා මෙම සීමාව ඉහළ නැංවීමට සලකා බලමින් සිටින අතර, 2027 සිට සිය රට තුළ තහනම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ග්‍රීසිය, මෙය සමස්ත යුරෝපයටම පොදු නීතියක් ලෙස හඳුන්වා දෙන ලෙස බ්‍රසල්ස් බලධාරීන්ට බලපෑම් කරමින් සිටී.
ළමුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවලට තවදුරටත් නිදහසට කරුණු ඉදිරිපත් කළ නොහැකි බව යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) අවධාරණය කළාය. ඒ අනුව, නිල ලේඛන හෝ ඩිජිටල් හැඳුනුම්පත් මගින් වයස තහවුරු කළ හැකි නව ඇප් එකක් හඳුන්වා දී ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ ‘Zero-knowledge proofs’ තාක්ෂණය භාවිතා කරමින්, පරිශීලකයාගේ පෞද්ගලික දත්ත හෙළි නොකර අදාළ සමාජ මාධ්‍ය ආයතනයට වයස පමණක් තහවුරු කිරීමට හැකි වීමයි.
TikTok, Instagram, Facebook සහ Snapchat යන ප්‍රධාන සමාජ මාධ්‍ය ජාල හතරම බාලවයස්කරුවන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දැනටමත් යුරෝපා සංගමයේ පරීක්ෂාවට ලක්ව සිටී. මේ වසරේ ගිම්හාන කාලයේදී යුරෝපා කොමිසමේ ළමා ආරක්ෂණ මණ්ඩලය මේ පිළිබඳ අවසන් තීන්දුව ලබා දීමට නියමිතය.
මෙම පියවර හරහා යුරෝපය පුරා ළමුන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවලින් ඔවුන් මුදා ගැනීමට බලාපොරොත්තු වේ.














