ඉරාන යුද්ධය ආරම්භයේ සිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව යුරෝ (Euro) මුදල් ඒකකය යම් පසුබෑමකට ලක් වුවද, මේ වන විට එය ස්ථාවර මට්ටමකට පැමිණීමේ ලකුණු පෙන්නුම් කරයි. තාක්ෂණික විශ්ලේෂණ (Technical analysis) අනුව, යුරෝ මුදල් ඒකකය තවදුරටත් පහත වැටීමට පෙර මිලදී ගන්නන් වෙළඳපොළට අවතීර්ණ වීමේ සූදානමක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙලෙස යුරෝ මුදල් ඒකකය ස්ථාවර වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ එය වැදගත් “චලිත සාමාන්‍යයක්” (Moving average) ඉක්මවා ඉහළ යාමට දක්වන හැකියාවයි.
මෙහිදී වෙළඳපොළ විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානය යොමුව ඇත්තේ දින 200ක චලිත සාමාන්‍යය (200-day moving average) වෙත වන අතර, එය දීර්ඝකාලීන ප්‍රවණතා හඳුනා ගැනීමට යොදාගන්නා ප්‍රබල දර්ශකයකි. බොහෝ වෙළෙන්දන් සහ මූල්‍ය ආයතන මෙම මට්ටම දෙස අවධානයෙන් සිටින බැවින්, එය “ස්වයං-සාධක සංඥාවක්” (Self-fulfilling signal) ලෙස ක්‍රියා කරයි. සාමාන්‍යයෙන් වෙළඳපොළ ඉහළ යන ප්‍රවණතාවකදී මෙම මට්ටම “ආධාරකයක්” (Support) ලෙසත්, පහත වැටෙන ප්‍රවණතාවකදී “ප්‍රතිරෝධයක්” (Resistance) ලෙසත් ක්‍රියා කරනු ලබයි.
දැනට යුරෝ මුදල් ඒකකයේ දින 200ක චලිත සාමාන්‍යය ඩොලර් 1.1677ක මට්ටමේ පවතින අතර, අගය එම මට්ටමට වඩා ඉහළින් පවතින තාක් කල් එය නැවතත් ඩොලර් 1.1830 දක්වා ඉහළ යනු ඇතැයි වෙළෙන්දෝ අපේක්ෂා කරති. 1.1830 යනු 2025 වසරේ ජූලි මාසයේදී වාර්තා වූ ඉහළම අගයයි.












