නේපාලයේ හදිසියේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වයත් සමඟ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් 2009 වසරේ තිරගත වූ ‘2012’ නම් හොලිවුඩ් ව්‍යසන චිත්‍රපටයේ එන ජවනිකාවක් සිහිපත් කරමින් අන්තර්ජාලය තුළ දැවැන්ත කතාබහක් ඇති කර තිබේ. එම ප්‍රදේශවල ජලය ගලා යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන නැරඹූ බොහෝ දෙනෙකුට මතක් වී ඇත්තේ, අදාළ චිත්‍රපටයේ දැවැන්ත ජල කඳක් විසින් ආරාමයක් යටපත් කරනු ලබන දර්ශනයයි.
මෑත ඉතිහාසයේ නේපාලය මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනයක් ලෙස සැලකෙන මෙම ගංවතුර හේතුවෙන් ප්‍රදේශ කිහිපයකටම දැවැන්ත විනාශයක් සිදුවී ඇති අතර, එයින් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වී තිබේ. මෙම තත්ත්වයත් සමඟ ‘2012’ චිත්‍රපටයේ පැවිදි හිමිනමක් කඳු මුදුනක පිහිටි විහාරස්ථානයක් තුළ සිටියදී, හිමවලින් වැසුණු කඳු මුදුන් පිටුපසින් දැවැන්ත ජල කඳක් නැගී එන අයුරු දැක්වෙන දර්ශනයක් X (ට්වටර්) සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස හුවමාරු වී ඇත.
මෙම දර්ශන දකින විට ‘2012’ චිත්‍රපටය හුදු මනඃකල්පිතයක් පමණක්ම නොවේදැයි සිතෙන බවත්, ස්වභාවධර්මය ඉතා භයානක බවත් බොහෝ පරිශීලකයින් අදහස් දක්වා තිබේ. ව්‍යසන චිත්‍රපට හුදෙක් ප්‍රබන්ධ ලෙස සැලකූ යුගය ගෙවී ගොස් ඇති බව පෙන්වා දෙන ඔවුන්, මෙම සේයාරූ සහ දර්ශන නිසා තමන්ට දැඩි ‘පරිසර කනස්සල්ලක්’ (environmental anxiety) ඇති වී ඇති බවද පවසා ඇත.













