27 April 2024
#දේශීය

දේශපාලනික මුහුණුවරක් නොදී සියළු දෙනා එකට වැඩ කල යුතුයි – මන්ත්‍රී ශෙහාන්

නිශ්චිත කාල රාමුවක් තුළ අපි සියලු දෙනා එකතුවෙලා වැඩ කිරීම ඉතාම වැදගත් අතර එය දේශපාලනික මුහුණුවරක් මේ ගැටලුවේදී ලබා නොදීමට පාර්ලිමේන්තුවේ සියලු දෙනා වගකියන්න ඕන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (10) පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී අදහස් පල කල මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා “ අද සියලු දෙනා බලාගෙන සිටින්නේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතුවෙලා අතිගරු ජනාධිපතිතුමා සමඟ සර්ව පාක්ෂික රජයක් වෙනුවෙන් කැපවෙලා කටයුතු කිරීමයි. ඊයේ දිනයේදී ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවේදී විවාදය ආරම්භ වුණා. එහිදි පැහැදිලිව සමගි ජනබලවේගය ප්‍රකාශ කළා සර්ව පාක්ෂික රජයක් වෙනුවෙන් එකතු වෙන්න කැමති නෑ කියලා. නමුත් පාර්ලිමේන්තුව තුළ ස්ථාපනය කරන කමිටුවල නායකත්වය අරගෙන කටයුතු කරන්න කැමති කියලා. අපි ඒ ප්‍රකාශය අගය කරනවා. අපි විශේෂයෙන් අනෙක් පක්ෂවලින් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේ රටේ තිබෙන බැරැරුම් තත්වයත් ඒ වගේම මහජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නත් ඔවුන් රජයේ වගකීිම් අරගෙන කටයුතු කිරීම මේ මොහොතේ වැදගත් කියලා. නිශ්චිත කාල රාමුවක් තුළ අපි සියලු දෙනා එකතුවෙලා වැඩ කිරීම ඉතාම වැදගත්. ඒ නිසා දේශපාලනික මුහුණුවරක් මේ ගැටලුවේදී ලබා නොදීමට පාර්ලිමේන්තුවේ සියලු දෙනා වගකියන්න ඕන. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ජනාධිපතිතුමාට සහ රජයට සහයෝගය ලබා දෙන්න පක්ෂයක් හැටියට තීන්දු කරලා තිබෙනවා. නමුත් අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් පාර්ලිමේන්තුව භාවිතා කරනවා මේ රටේ නීති විරෝධි වැඩ වෙනුවෙන් ජනතාව පොළඹවන්න සහ මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කටයුතු කරන්න. මේ වගේ ප්‍රකාශ පාර්ලිමේන්තුවේ වරප්‍රසාධවලට මුවා වෙලා ඇතුළේ කටයුතු කරපු කණ්ඩායමට ගරු කථානායකතුමා වහාම ඒ සම්බ්ධයෙන් විමර්ශනයක් කරලා එතුමාගේ මතය ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා.

මේ අවස්ථාව දේශපාලනික වශයෙන් තමන්ගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් කටයුතු කරන කාලයක් නොවේ කියන එක අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන. මෙසේ අවස්ථාවාදි දේශපාලනයක නියැලුණොත් දේශපාලඥයන් සියලු දෙනාට තිබෙන විරෝධතාවය තවදුරටත් වැඩිවීමක් සිදු වෙන්නේ. ඒ නිසා ඉදිරියේදී මේ රජය ඉතා පැහැදිලිව උද්ඝෝෂණය කරන්න, පෙළපාලි කරන්න, රැස්වීම් පවත්වන්න තිබෙන ජනතා අයිතියට කිසිදු බාධාවක් සිදු කරන්නේ නෑ. නමුත් රටේ සීමාව ඉක්මවලා රටේ නීතියට පිටින් කටයුතු කරනවා නම්, දේපළවලට හානි සිදු කරනවා නම් රටේ පවතින නීතිය සියලුදෙනාටම අදාළවන ආකාරයට ක්‍රියාත්මක කරනන් සූදානම්ව සිටිනවා. අපි කිසිම කෙනෙක්ව මර්ධනය කරන්න රජයක් හැටියට සූදානම් නෑ.
රජය ඊයේ දිනයේදී අලුත් අයවැය ලේඛනයක් වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ අලුත් අයවැය ලේඛනයේ දකින විශේෂත්වය වන්නේ මෙය සූබසාධනය වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැය ලේඛනයක්. මේ ඇතිවෙලා තිබෙන ආර්ථික අවපාතය, ජනතාව මුහුණ දෙන ගැටලු සලකා බලා , ප්‍රාග්ධන වියදම් යම් ආකාරයකට කප්පාදු කරලා සුබසාධන වියදම් වෙනුවෙන් ඉදිරිපත් කරපු අයවැයක් බවට පත්වෙනවා. අද වන විට මාස කිහිපයක් රටේ පැවති දැවෙන ප්‍රශ්නවලට විසදුම් යම්තාක් දුරට ලැබිලා තිබෙනවා. ඒ වෙනුවෙන් රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් මම හිතනවා අපි තීව්‍ර වැඩපිළිවෙළක් සකසා ගත යුතුයි. ඉදිරියේදී සියලු දෙනාගේ එකඟතාවය තුළ ඇති වන රජය මඟින් මීට වඩා වේගවත් වැඩපිළිවෙලක් සිදු කරන්න හැකි වෙනවා. මේ අවස්ථාවේ ජිවන වියදමට යම් කිසි ආකාරයක බරක් විදුලි බිල, ජල බිල සංශෝධනය තුළින් ඇති වෙනවා. එය ජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක් නොවේ. මේ විදුලි නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට මූලාරම්භයක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින් ලබා දුන්නා. 70% ක් දක්වා විදුලි නිෂ්පාදනයේදී පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරන්න අවශ්‍ය වැඩිපිළිවෙළ නිරන්තරයෙන් අවධානය යොමු කරලා ඒ සඳහා ගමන් කිරීමට කටයුත් කළා. නමුත් ඒ සඳහා බලධාරීන්ගෙන් සහයෝගය ලැබුණේ නෑ. මේ ආකාරයට ජනතාවට පැටවෙන ඒ අත්‍යවශ්‍ය සේවාවන්, භාණ්ඩවල මිල යම් ස්ථායිකරණයක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන්න අවශ්‍යයි. ඉදිරියේදී මේ පැටවෙන බර, නීතිමය බාධා අපි රජයක් හැටියට ඉවත් කරලා තිබෙනවා.මෙසේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමා, අගමැතිතුමා , රජය පත්වීමෙන් පසුව මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය දිගටම පවත්වා ගෙන යන්න සියලු දෙනාගේම සහය වැදගත් වේ. ”යනුවෙන් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මෙහිදි සඳහන් කලේය .

Leave a comment

Your email address will not be published. Required fields are marked *