මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ සුදු සීනි ටොන් 4,250ක් ගබඩා කර තබා ගනිමින් ඒවා වෙළඳපොළට යැවීමට සූදානම් කළේ යැයි කියන කැලණියේ සීනි සමාගමක සේවකයින් සිව්දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය, පාරිභෝගික කටයුතු අධිකාරියට විමර්ශන කඩිනම් කරන ලෙස ද නියෝග කළාය.
එම සීනි තොගයේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා තෙක් අදාළ සීනි ගබඩාව සීල් තබා ආරක්ෂාව සපයන ලෙස පෑලියගොඩ පොලිසියට නියෝග කර ඇත.මෙම ගබඩාවේ සීල් ඉවත් කරන ලෙස සමාගමේ නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, පාරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය පවතින බැවින් ගබඩාවේ තහනම ඉවත් කිරීමට නොහැකි බව පෙන්වා දුන්නාය. පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාවක මෙම කල් ඉකුත් වූ සීනි තොග නැවත ඇසුරුම් කර වෙළඳපොළට යැවීමට සූදානම් කර තිබියදී පාරිභෝගික අධිකාරිය සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
















