කැනඩාව, ලක්සම්බර්ග් සහ ජපානය වැනි රටවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 86කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මින් එක් අයෙකු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙකුගෙන් කැනඩාවේ සහ ලක්සම්බර්ග් රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 80ක මුදලක් වංචා කර ඇති අතර, අනෙක් සැකකරු වලංගු බලපත්‍රයක් නොමැතිව ජපාන රැකියා ලබාදෙන බව පවසා සිය මිතුරෙකුගෙන් රුපියල් ලක්ෂ 6ක් වංචා කර ඇත. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති අතර, ඔවුන් වංචා කළ මුදල් ආපසු ගෙවන ලෙස ද අධිකරණය විසින් නියම කර ඇත. විදේශ රැකියා සඳහා මුදල් ගෙවීමේදී වලංගු බලපත්‍ර ඇති ආයතන පමණක් තෝරා ගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් නැවත වරක් ඉල්ලා සිටී.
















