27 April 2024
#දේශීය

බොරු අරගල, උද්ඝෝෂණ රටේ කීර්ති නාමය පිරිහිම කණගාටුදායක තත්වයක් – මන්ත්‍රී සාගර

බොරු අරගල, උද්ඝෝෂණ ඇති කරමින් මේ රටේ කීර්ති නාමය පිරිහිලා යන විදිහේ කටයුතු සිදු කරන එක ඉතාමත් කණගාටුදායක තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා , “2009 මේ රටේ තිබුණු ආර්ථිකය මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාර ගන්නකොට ඝෘණ ආර්ථිකයක ඉඳලා භාරගෙන ලෝකයේ දෙවැනියට වේගයෙන් සංවර්ධනය වන රට බවට ලංකාව පත් වුණා 2014 වන විට. ලෝකයේ සීග්‍රයෙන්ම දියුණු වෙන නගරය බවට කොළඹ නගරය පත් වුණා. මේ විදිහට ඉතා විශාල සංවර්ධනයක් ඇති වුණා. අපේ රට දුප්පත් රටක ඉඳන් මධ්‍යම ආදායම් රටක් කියන තැනට ගෙනියන්න අපිට හැකි වුණා. ජාත්‍යන්තර බලවේග මැදිහත්වෙලා මේ රටේ තිබෙන එන්ජිඕ විවිධ සංවිධාන හරහා මහින්ද රාජපක්ෂ කියන චරිතය හොරෙක් කියන තැනට හන්වඩු ගැහුව්වා. රාජපක්ෂ පවුල හොරකම් කරනවා කියන බොරු මතයක් මේ රටේ සමාජ ගත කළා. එහෙම කරලා එතුමාව බලයෙන් පහකලා. ඒ 2015 කරපු ඓතිහාසික වැරැද්දේ ප්‍රතිපල තමයි අපි අදටත් භුක්ති විදින්නේ. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ රැස්වීමකදි කෙනෙක් කියනවා ඒ අවුරුදු 05 කරපු වැරදි නිසා තමයි අද මේ රට දුක්විදින්නේ කියලා. කවුරුහරි කියනවානම් අපිට කරන්න බැරිවුණා කියලා කරන්න බැරි වුණා නොවේ කරා නමුත් කරපු දේ මේ සමාජ මාධ්‍ය වලින් බොරු වපුරලා මේ තරුණ පරපුර නොමඟ යවලා මේ රට වෙනම තැනකට ඇදලා දැම්මා. මේ රට පන්දු පිටියක් කරගන්න උත්සහ දරන ජාත්‍යන්තර බලවේග වලට අවශ්‍ය කාරණයට අපි නතු වුණා. නමුත් ජනතාව එය ‍තේරුම් අරන් නැවතත් ආපස්සට ගෙන ආවා. හැබැයි දැන් මේ සිදුවෙමින් තිබෙන්නේ ඒ කරපු ඓතිහාසික වැරැද්දම කිරීමද කියන ප්‍රශ්නය තිබෙනවා. අපිට මේ අවස්ථාවේ අවශ්‍යවන්නේ මේ රටේ ආර්ථිකය නඟා සිටුවන්නයි. මේ රටේ ආර්ථිකය නඟා සිටුවන්න තිබෙන හැම මාර්ගයකටම බාධා කිරීම් අපේ රටේම මේ ඊනියා තරුණ පරපුර විසින් සිදු කරමින් තිබෙනවා අරගල කරමින්. ඒ මේ රටට එන විදේශිකයන්ට එන්න දෙන්නේ නෑ. දිනෙන් දින මේ රටේ විවිධ බොරු අරගල, උද්ඝෝෂණ ඇති කරමින් මේ රටේ කීර්ති නාමය පිරිහිලා යන විදිහේ කටයුතු සිදු කරන එක ඉතාමත් කණගාටුදායක තත්වයක්. මම හිතන්නේ ජනතාව මෙය තේරුම් ගත්ත දවසට පුළුවන් වෙයි අපිට නැවතත් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න.”යනුවෙන් මෙහිදි සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *