එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ චීන රජයේ “දකුණු-දකුණු සහයෝගීතා වැඩසටහන” යටතේ, ශ්‍රී ලංකාවේ සහ ටැන්සානියාවේ ජලජීවී වගා ක්ෂේත්‍රය නංවාලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 02ක වටිනාකමින් යුත් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. “වැඩිදියුණු කළ ජලජ ජීවීන්ගේ සෞඛ්‍ය කළමනාකරණය සහ භාවිතයන් තුළින් තිරසාර ජලජීවී වගා නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම” තේමාව කරගත් මෙම ව්‍යාපෘතිය 2027 වසරේ සිට වසර තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වේ.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මූලික සාකච්ඡාවේදී, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංශ හතරක් පිළිබඳව අවධානය යොමු කෙරිණි. ඒ අනුව වගා බිම් ලියාපදිංචිය, රෝග වාර්තා කිරීම සහ නිෂ්පාදන දත්ත නිරීක්ෂණය සඳහා ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් සැකසීම, දේශගුණික විපර්යාස සහ ජලයේ ගුණාත්මකභාවය වෙනස් වීම් පිළිබඳව නිෂ්පාදකයින්ට ක්ෂණික තොරතුරු සැපයීම, කුඩා පරිමාණ නිෂ්පාදකයින්ට ගැලපෙන ජෛව ආරක්ෂණ (Biosecurity) ක්‍රමවේද හඳුන්වා දීම සහ චීනය වැනි දියුණු ජලජීවී වගාවන් සහිත රටවල අත්දැකීම් සහ තාක්ෂණය මෙරට පර්යේෂකයන් සහ නිලධාරීන් අතර හුවමාරු කිරීම යන කරුණු ප්‍රධාන විය.
ඉස්සන් වගාව වැනි ක්ෂේත්‍රවල රෝග ව්‍යාප්තිය හේතුවෙන් අතීතයේ සිදුවූ නිෂ්පාදන පාඩු පාලනය කිරීමටත්, ඩිජිටල් තාක්ෂණය සහ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ පරිසර හිතකාමී කර්මාන්තයක් ගොඩනැගීමටත් මෙම ව්‍යාපෘතිය මගින් ඉමහත් පිටුබලයක් ලැබෙනු ඇත.














