27 April 2024
#දේශීය

දඹගස්වැව වැව ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ගොවින්, මන්ත්‍රී දුමින්දගෙන් ඉල්ලයි

ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‌යේ පඩිකාරමඩුව ගම්මානයේ දඹගස්වැව වැව නිරීක්ෂණය කර එය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සාකච්ජා කරනු ලැබීය.

පඩිකාරමඩුව ගම්මානයේ පිහිටි දඹගස්වැව වැව, ප්‍රථිසංස්කරණය කර දෙන ලෙසට දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්ගෙන් එම වැව යටතේ වගා කටයුතු සිදු කරන ගොවීන් කළ ඉල්ලීමකට අනුව මෙම වැව ප්‍රථිසංස්කරණය කිරීමට යෝජනා වී ඇත.කෘෂිකර්ම අමාත්‍යංශයේ මූළ්‍ය ප්‍රථිපාදන මත රුපියල් මිලියන 3 ක මුදලක් මෙම වැව ප්‍රථිසංස්කරණය සඳහා වෙන් කර ඇත.

දීර්ඝ කාළයකින් මෙම වැව ප්‍රථිසංස්කරණය නොකිරීම හේතුවෙන් වැවේ රොන් මඩ පිරී ඇති බවත්, නිසි ලෙස වැව මැන රක්ෂිත වෙන් නොකිරීම හේතුවෙන් ඇතැම් පිරිස් වැව් තාවුල්ලද අත්පත් කර ගෙන ඇති බවත් එහිදී මන්ත්‍රීතුමන් වෙත ගොවීන් පෙන්වා දුන්හ.කුඹුරු අක්කර 42 ක් පමණ දඹගස්වැව වැව යටතේ වගා කරන නමුත් වැව තුළ යල -මහ දෙකන්නය වගා කිරීමට ජලය ගබඩා නොවීම හේතුවෙන් මේ වන විටත් වැව පතුලට සිදී ගොස් තම වගාවන්ද විනාශ වී ඇති බව ගොවීන් පෙන්වා දුන්හ.

එබැවින් වැව නිසි මැනුමක් සිදු කර වැව් රක්ෂිතය වෙන් කර දෙන ලෙසත්, රොන් මඩ පිරී ඇති වැව ගැඹුරු කර දෙන ලෙසත් මෙන්ම, වැවේ ජලය කාන්දු වන උමයක් පවතින බැවින් එය වසා දමා වැව් බැම්ම සකස් කර , වැවෙහි පවතින සොරොව් දෙක ප්‍රථිසංස්කරණය කර දෙන ලෙසත් ගොවීන් එහිදී මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියහ.

ගොවීන්ගේ ඉල්ලීම්ද සලකා බලා වර්ෂාවට ප්‍රථම වැව ප්‍රථිසංස්කරණය කිරීමට අවශ්‍යය කටයුතු සිදු කරන බවට එහිදී දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් පොරොන්දු විය.

මෙම අවස්ථාවට ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නාමල් විජේවර්ධන මහතා හා ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *