දේශීය අල ගොවියා මුහුණ දී ඇති දැඩි ආර්ථික පීඩනය සහ විදේශීය රටවලින් අල ආනයනය කිරීම හේතුවෙන් උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගැනීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි කලකිරීමකට පත්ව සිටින බව ‘දේශයේ ගොවි හඬ’ සංවිධානය පවසයි. නුවරඑළියේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංවිධානය රජයට එරෙහිව දැඩි ප්‍රකාශයන් සිදු කළේය.
එම සංවිධානයේ සභාපති තරිඳු රත්නායක මහතා සඳහන් කළේ, වසර ගණනාවක් පුරා සහ වත්මන් රජය යටතේ වසර දෙකක කාලයක් තුළ දේශීය අල ගොවියාගේ ගැටලු විසඳීමට කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොමැති බවයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්යභාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ සභාපතිවරයා, අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය ගොවීන්ගේ සුභසිද්ධිය වෙනුවට දේශපාලන හිතවතුන් පිනවීම සඳහා පමණක් යොමුව ඇති බවට චෝදනා කළේය.
මෙම පීඩාවන්ට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත්, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට උද්ඝෝෂණ සංවිධානය කිරීමට තමන් සූදානම් බව ගොවි හඬ සංවිධානය ප්‍රකාශ කරයි. එහි එක් අදියරක් ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රදේශය වන තඹුත්තේගමදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, පසුව සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශය වටලා දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරන බවත් ඔවුහු අනතුරු ඇඟවූහ.
ප්‍රාදේශීය දේශපාලන නායකයින්ට ගමට බැසීමේදී දැඩි විරෝධයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, කොළඹ සිට පාලනය කරන දේශපාලනඥයින් ගොවි බිම්වල සැබෑ තත්ත්වය වටහා ගත යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















