ශ්‍රී ලංකාව පුරා පාසල් ශිෂ්‍යාවන් මුහුණපාන මාසික ඔසප් සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබා දීමේ අරමුණින්, රජයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන **‘තිළිණපත්’** වැඩසටහන සඳහා Hemas Consumer Brands සමාගමට අයත් **Fems** සන්නාමය ප්‍රධාන හවුල්කරුවකු ලෙස දායකත්වය ලබා දෙයි.
පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ අපහසුතා මෙන්ම ඒ ආශ්‍රිත සමාජ තහංචි සහ දැනුම අඩුකම වැනි බාධක මඟහරවා ගැනීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. 2024 ජුනි මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත විශේෂ පාසල් 6,108 ක 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල පාසල් සිසුවියන් ලක්ෂ 10 කට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලබා ගනිති. Fems දායකත්වය නිසා සිසුවියන්ට වසරක් සඳහා ප්‍රමාණවත් සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාගැනීමටත්, තමන් කැමති සන්නාමය සහ වර්ගය ස්වාධීනව තෝරාගැනීමටත් අවස්ථාව හිමි වී ඇත.
ඔසප් සෞඛ්‍යය පිළිබඳ දැනුම ලබාදීම සඳහා වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක වන ‘අපි කතා කරමු’ වැඩසටහන හරහා 2021 වසරේ සිට සිසුවියන් 250,000 කට අධික පිරිසක් දැනුවත් කර තිබේ. මීට අමතරව, මධ්‍යම පරිසර අධිකාරියේ මඟපෙන්වීම යටතේ පාසල්වලට සනීපාරක්ෂක අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ‘Purple Bin’ බඳුන් ලබා දී ඇති අතර, ‘Sisili Hanaro Encare’ හරහා ඒවා ආරක්ෂිතව කළමනාකරණය කරනු ලබයි.















