දිවයිනේ සමස්ත ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය එළඹෙන 2026 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ගුරු සේවයේ වෘත්තීය උසස්වීම් සඳහා අත්‍යවශ්‍ය වන මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාග මාලාවට අදාළ නිල ගැසට් නිවේදනය 2026 ජූනි 19 දින නිකුත් කර තිබේ. පොදුවේ ගුරු සේවයේ ඉදිරි උසස්වීම් ලබාගැනීම සඳහා ගුරුවරුන් කාර්යක්ෂමතා කඩඉම් විභාග තුනකට මුහුණ දිය යුතු අතර, ඒ සඳහා සමස්ත මොඩියුල 10ක් අධ්‍යයනය කිරීම අනිවාර්ය කර ඇත.
මෙහි සමස්ත ව්‍යුහය යටතේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය ගුරු සේවයේ 3 පන්තිය II ශ්‍රේණිය, 3 පන්තිය I ශ්‍රේණිය සහ 2 පන්තිය II ශ්‍රේණිය සඳහා ඍජුවම බඳවා ගත් ගුරුවරුන්ට අදාළ වන අතර ඔවුන් මෙහිදී මොඩියුල 4ක් අධ්‍යයනය කළ යුතුය. දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2 පන්තිය II ශ්‍රේණියේ පළමු පියවර සහ තුන්වන පියවරෙහි පිහිටුවා ඇති ගුරුවරුන් සඳහා අදාළ වන අතර එහිදී මොඩියුල 3ක් අධ්‍යයනය කළ යුතුව තිබේ. එමෙන්ම තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2 පන්තිය I ශ්‍රේණියේ පසුවන ගුරුවරුන් සඳහා පැවැත්වෙන අතර, එම විභාගය සඳහා ද මොඩියුල 3ක් අධ්‍යයනය කිරීම අනිවාර්ය වේ. දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා වන ගැසට් නිවේදන ඉදිරි කාලයේදී නිකුත් කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.
දැන් ප්‍රකාශයට පත් කර ඇති පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා වන අයදුම්පත් 2026 ජූනි 22 දින සිට ජූලි 17 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් භාරගනු ලැබේ. අපේක්ෂකයින්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිය අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. තවද, මෙම විභාගයට අදාළ සියලුම අධ්‍යයන මොඩියුල සහ විෂය කරුණු ‘e-Thaksalawa’ නිල අධ්‍යාපන වෙබ් අඩවියෙහි ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, අයදුම්කාර ගුරුවරුන්ට එම ද්‍රව්‍ය ඇසුරින් ස්වයං අධ්‍යයන ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා සූදානම් වන ලෙස ද උපදෙස් දී ඇත.
















