2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති යටතේ, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා සමස්ත රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක (රු. 14,600,000.00) දණ්ඩන මුදලක් අය කර ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත. මෙම කාලසීමාව තුළ ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (Janashakthi Finance PLC) ආයතනය වෙතද 2025.12.03 දිනැතිව රුපියල් 1,000,000.00 ක (රුපියල් මිලියනයක) පරිපාලනමය දණ්ඩනයක් පනවා තිබේ.
1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුකූලව, නව ව්‍යාපාරික සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට පෙර කිසිදු ගනුදෙනුකරුවකු, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCRs) යටතේ නිකුත් කරන ලද කිසිදු නම් කරන ලද ලැයිස්තුවක ඇතුළත් නොවන බව ඵලදායී ලෙස සත්‍යාපනය කිරීමට සමාගම අපොහොසත් වීම හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවා ඇත.
සමාගම විසින් තම ගනුදෙනුකරුවන්, එලෙස නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතනවල ලැයිස්තුවලට එරෙහිව සත්‍යාපනය කිරීමට ක්‍රමවේදයක් පැවතුනද, නව ව්‍යාපාරික සම්බන්ධතා ආරම්භ කරන අවස්ථාවලදී ඇතැම් ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් එම පරීක්ෂාවන් සිදු කිරීමේ ප්‍රමාදයක් නිරීක්ෂණය විය. කෙසේ වෙතත්, පද්ධති සහ කාර්ය පටිපාටිවල ඉහළ සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුවද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ සමාගම විසින් ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා පැන්ත පරීක්ෂණයෙන් අනාවරණය වී නැත.
















