දකුණු කොරියාවේ ඩේජොන් (Daejeon) නගරයේ පිහිටි හන්වා එරෝස්පේස් (Hanwha Aerospace) සමාගමට අයත් කර්මාන්තශාලාවක අද (01) සිදුවූ පිපිරීමකින් සහ හටගත් ගින්නකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
රොකට් ඉන්ධන නිෂ්පාදන අංශයක මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වේ. තුවාල ලැබූවන් අතරින් අයෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, ඔවුන් දෙදෙනාම තමන් විසින්ම ගොඩනැගිල්ලෙන් පිටවීමට සමත් වී ඇත. මියගිය අයගේ සිරුරු දැඩි ලෙස හානියට පත්වී ඇති බැවින් ඔවුන් කවුරුන්දැයි හඳුනා ගැනීමට බලධාරීන් තවමත් උත්සාහ කරමින් සිටින බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, රොකට් ඉන්ධන නිෂ්පාදනය සඳහා භාවිතා කරන උපකරණ ජලය භාවිතයෙන් පිරිසිදු කරන අතරතුර මෙම අනතුර සිදුවන්නට ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. මියගිය පස්දෙනා අතර 20 හැවිරිදි වියේ පසුවන තාවකාලික සේවකයින් දෙදෙනෙකු ද වන බව හන්වා සමාගම තහවුරු කරයි.
හන්වා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සොන් ජේ-ඉල් මහතා සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින අතර, අනතුරට හේතුව සෙවීමට බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවට පොරොන්දු විය. දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් මහතා මෙම අනතුර සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය සියලු සම්පත් යොදවන ලෙසත් උපදෙස් ලබා දී ඇත.
















