27 April 2024
#සංවර්ධන

වෙරළ සම්පත් ආරක්ෂාව සහ කළමනාකරණය සඳහාවන පස් අවුරුදු සැලැස්ම ප්‍රකාශයට පත් කෙරේ

වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහාවන පස් අවුරුදු සැලැස්ම (2024-2029) ප්‍රකාශයට පත් කෙරේ.

ඒ, ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම (2024-2029) අද (20) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පිළිගන්වනු ලැබීය.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ පනතේ නීති ප්‍රකාරව, වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සැකසීම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ.

එමෙන්ම වෙනස්වන තත්ත්වයන් සැලකිල්ලට ගිනිමින් සෑම වසර පහකටම වරක් එම සැලැස්ම යාවත්කාලීන කළ යුතුයි. මෙරට අවසන් වතාවට වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් පිළියෙල කරනු ලැබුවේ 2018 වසරේදීය. එම සැලැස්ම යාවත්කාලීන කරමින් ඉදිරි වසර පහ සඳහා වන (2024-2029) වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහාවන මෙම සැලැස්ම පිළියෙල කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ඉදිරිපත් කළ විසින් මෙම සැලැස්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතය. වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා වන පස් අවුරුදු සැලැස්මට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවද වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඉදිරියේදී වෙරළ කලාපයේ පවතින ජෛව සහ භෞතික සම්පත් වඩාත් ඵලදායි ලෙස රටේ සංවර්ධන කාර්යයට දායක කර ගැනීමට හැකියාව ලැබෙන පරිදි මෙරට වෙරළ පරිසරය උපරිම අයුරින් ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බවයි.

එමෙන්ම සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සමුද්‍ර සම්පතින් රට ගොඩ නගන ආකාරය සම්බන්ධයෙන් අප ගැඹුරින් සිතා බැලිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ රට වටා පිහිටි මුහුද සහ වෙරළ පරිසරය නිසිපරිදි කළමණාකරණය කර ගැනීමෙන් මෙම ආර්ථික අර්බුධ ජයගත හැකි බවයි. අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධවී ඒ සඳහා වන සැලසුම් සැකසීම මේ වනවිටත් ආරම්භකර ඇති බවද හෙතෙම පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද, ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.එස් රණවක මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *