වයර් පද්ධතියේ ඇති වී තිබෙන දෝෂයක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළ භාවිත වන Ford Ranger වර්ගයේ රථ වාහන 140,201ක් වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට (Recall) Ford සමාගම තීරණය කර තිබේ. විදුලි කාන්දුවක් හේතුවෙන් රථයේ ඉදිරිපස කුළුණ (A-pillar) ආශ්‍රිතව ගින්නක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඇමරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය (NHTSA) අද (22) නිවේදනය කළේය.
මෙම දෝෂයට ප්‍රධාන හේතුව වී ඇත්තේ රථයේ හිරු ආවරණ (Sun visor) හෝ වහලයේ අභ්‍යන්තර ආවරණය (Headliner) ආශ්‍රිතව ඇති වයර් පද්ධතිය වැරදි ලෙස පිහිටුවා තිබීම හෝ ඒවා ආවරණය කිරීමට වැඩිපුර ටේප් භාවිත කර තිබීමයි. මෙලෙස වයර් පද්ධතියට හානි වීම නිසා සිදුවිය හැකි විදුලි කාන්දු වීම් මගින් රිය අනතුරු හෝ පුද්ගල තුවාල සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව නියාමන ආයතන පෙන්වා දෙයි.
Ford සමාගම පවසන පරිදි මෙම දෝෂය පරීක්ෂා කර නොමිලේ පිළිසකර කර දීමට ඔවුන් සූදානම්ය. ලොව ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදකයෙකු වන Ford සමාගම මෙලෙස විශාල වාහන සංඛ්‍යාවක් යළි කැඳවීමට සිදුවීම, ඔවුන්ගේ ගෝලීය වෙළඳපොළ සහ නිෂ්පාදන විශ්වාසනීයත්වය කෙරෙහි යම් බලපෑමක් එල්ල කරනු ඇතැයි මූල්‍ය විශ්ලේෂකයෝ පවසති.













