27 April 2024
#දේශීය

විදේශ රැකියා ජාවාරම්කරුවන්ට නීතිමය පියවර ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් නෑ – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

විදේශ රැකියා සදහා යොමු කරන බව පවසමින් මුදල් ජාවාරම්කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්, එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එමෙන්ම රටේ පවතින නීතියට පටහැනිව කටයුතු කරන කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ කිසිදු අයෙක් කටයුතු නොකරන බවද, එසේ නීති විරෝධි කටයුතු කරන පුද්ගලයින් ආරක්ෂා කිරීම සදහා කිසිදු අවස්ථාවකදී මැදිහත්වී නොවනු ඇත.

අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කරන ජාවාරම්කරුවන් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද තරාතිරම නොබලා එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද කාර්යාංශය සදහන් කරයි.

විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් කිසිදු අවස්ථාවක අමාත්‍යාංශයේ හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපි ශීර්ෂයෙන් කිසිදු අයෙක්ට ලිපි නිකුත් නොකරන බවද, කාර්යාංශය පවසයි. ඒ ආකාරයට ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිතා කරමින් ලිපි නිකුත් කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ වන විටත් පැමිණිලි ලැබී ඇති අතර ඔවුන්ට අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ විමර්ශනද ක්‍රියාත්මක වේ.

විදේශ රැකියා සදහා පුද්ගලයින් යොමු කළ හැක්කේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනවලට පමණක් වන අතර එවැනි බලපත්‍රයක් නොමැති කිසිදු අයෙක්ට විදේශ රැකියා සදහා පුද්ගලයින් පිටත් කර යැවීමට නීත්‍යානුකූල අවසරයක් නොමැත. විදේශ රැකියා සදහා යොමු කරන බව පවසමින් මුදල් එකතු කරන අතරමැදියන්ට අහුවෙන්න එපා යැයි ඉල්ලා සිටින බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සදහන් කරයි.–

Leave a comment

Your email address will not be published. Required fields are marked *