රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීමේ අරමුණින් 2021 වසරේ සිට 2026 වසර දක්වා කාලය තුළ සාමාන්‍ය ජනතාවගේ වැටුප්, සමාගම් ලාභ, විදුලි බිල, ගෑස් සිලින්ඩරය, පාන් ගෙඩිය සහ සබන් කැටය දක්වා සෑම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවකම බදු මුදල් රජය විසින් ඉහළ දමා ඇති පසුබිමක, සිගරට් පැකට්ටුවක් සඳහා පනවා තිබූ බදු ප්‍රතිශතය පමණක් ඉතා සූක්ෂ්ම සහ රහසිගත ලෙස 7.2%කින් පහත දැමීමට (Stealth Reduction) බලධාරීන් කටයුතු කර ඇති බව වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ නවතම විමර්ශනාත්මක වාර්තාවක් මඟින් හෙළිදරව් කර තිබේ. මෙම රහසිගත බදු කපාහැරීම හේතුවෙන් 2026 වසරේදී පමණක් රජයේ භාණ්ඩාගාරයට අහිමි වන බදු ආදායම රුපියල් කෝටි 1,730ක් (රුපියල් බිලියන 17.3ක්) වන අතර, මහජනතාවට ලැබිය යුතු මෙම මහා පරිමාණ මුදල කෙළින්ම ලංකා දුම්කොළ සමාගමේ (CTC) ශුද්ධ ලාභය ලෙස ඔවුන්ගේ සාක්කුවලට බැර වී ඇති බව එම ආයතනයේ ප්‍රධානීන් වන නිශාන් ද මෙල් සහ රාජ් රාජකුලේන්ද්‍රන් පෙන්වා දෙති.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානතම කොන්දේසිය වන රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා රජය විසින් වැට් බද්ද (VAT) 7.8%කින් සහ අමතර සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) 2%කින් ඉහළ දමා, මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ ආහාර ද්‍රව්‍ය පවා බදු දැලට හසුකර ගත්ත ද, සිගරට් සඳහා Snake-in-the-grass ක්‍රමවේදයකට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇත. 2021 සහ 2026 වසරවල් අතර කාලය තුළ වෙළඳපොළේ පවතින අඩුම මිලැති සිගරට් සන්නාමය වන ‘කැප්ස්ටන්’ (Capstan) හි බදු ප්‍රතිශතය 8.8%කින් ද, වැඩිපුරම අලෙවි වන ‘ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ්’ (Gold Leaf) හි බදු ප්‍රතිශතය 5.6%කින් ද පහත වැටී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර නිර්දේශයන්ට අනුව සිගරට් මිලෙන් අවම වශයෙන් 75%ක්ම බදු (Tax-in-price) වශයෙන් පැවතිය යුතු අතර, 2018 වසරේදී ලංකාවේ මෙම අගය 74%ක මට්ටමක පැවතුණ ද, 2026 වසර වන විට එය සමස්තයක් ලෙස 66.8%ක් දක්වාත් (MSB 68.4% සහ LPB 66.1%) බිහිසුණු ලෙස පහත වැටී ඇත. සරලවම පැවසුවහොත්, දුම්බොන්නෙකු වැය කරන සෑම රුපියල් 12කින්ම රුපියල් 9ක් රජයට යා යුතු වුවත්, වර්තමානයේ රජය ලබාගන්නේ රුපියල් 8ක් පමණක් වන අතර ඉතිරි රුපියල මහජන මුදලින් දුම්කොළ සමාගමට දුන් සහනාධාරයක් බවට පත්ව ඇත.
දුම්කොළ සමාගම් විසින් මිල ඉහළ දමන සෑම අවස්ථාවකම රජය විසින් බදු වැඩි කළ බවට මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රචාරයන් (Fake News) සිදුකළ ද, සිගරට් සඳහා පනවන විශේෂ සුරාබද්ද (Excise Tax) නියමිත පරිදි මිලට සාපේක්ෂව ඉහළ නොදැමීම නිසා මෙම බදු ප්‍රතිශතය පහත වැටී තිබේ. මෙලෙස සිගරට් සමාගමට රහසින් ලබාදුන් රුපියල් කෝටි 1,730ක බදු සහනාධාරය, රටේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට වෙන්කළ මුදල මෙන් 1.2 ගුණයකි, පෝෂණ කටයුතු නඟාසිටුවීමට වෙන්කළ මුදල මෙන් 1.3 ගුණයකි, එමෙන්ම පෞද්ගලික අංශයේ මාතෘ නිවාඩු දීමනා ගෙවීමට යන පිරිවැය මෙන් 2.4 ගුණයකි. මුදල් නොමැති බව පවසමින් රජය මෙවැනි අත්‍යවශ්‍ය සමාජ සුභසාධන කටයුතු ප්‍රතික්ෂේප කරද්දී, ලෝක බැංකුව, IMF සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා බදු වැඩි කිරීමට නිර්දේශ කර ඇති එකම මාරාන්තික භාණ්ඩයට මෙලෙස රහසිගත සහන දීම පිටුපස මිලදී ගත් මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය හසුරුවන්නන් (Influencers) සහ දූෂිත නිලධාරීන් සිටින බව වේරිටේ රිසර්ච් වාර්තාව අවධාරණය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන රාමුව (WHO FCTC) 2003 වසරේදී අත්සන් කළ ප්‍රථම ආසියානු රට ලෙස, වත්මන් රජය කිසිදු නව නීතියක් හෝ මහජනතාවට බදු බරක් පැටවීමකින් තොරව සිගරට් බදු ප්‍රතිශතය වහාම 75% දක්වා ඉහළ දමා මෙම මහා පරිමාණ දූෂණය නතර කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ දැඩිව ඉල්ලා සිටිති.
















