බ්‍රසීලයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වන ඇලෙක්සැන්ඩර් රමගෙම් (Alexandre Ramagem) ඇමෙරිකානු ආගමන සහ විගමන බලාත්මක කිරීමේ ආයතනය (ICE) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සමඟ එක්ව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට වරදකරු වී බ්‍රසීලයෙන් පලාගොස් සිටි ඔහුව ෆ්ලොරිඩාවේ ඔර්ලෑන්ඩෝහිදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
2022 වසරේ පැවැති මැතිවරණයෙන් ජයගත් වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ ජයග්‍රහණය අවලංගු කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රමගෙම් හට බ්‍රසීල අධිකරණය විසින් වසර 16කට වැඩි සිරදඬුවමක් නියම කර තිබුණි. ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙලෙස ඇමෙරිකාවට පලාගොස් ඇති අතර, දෙරටේ ආරක්ෂක අංශ අතර පැවති සහයෝගීතාවය මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බ්‍රසීල ෆෙඩරල් පොලිසිය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වරදකරු කරන ලද පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. කෙසේ වෙතත්, රමගෙම්ගේ නීතිඥයන් මේ පිළිබඳව මෙතෙක් කිසිදු අදහසක් දක්වා නොමැති අතර ඔහු දිගින් දිගටම පවසා සිටින්නේ තමන් නිවැරදිකරු බවයි.














