වසර 30ක් පුරා යුවාන් බිලියන 2.2කට (ඇමෙරිකානු ඩොලර් මිලියන 325ක්) වැඩි අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ චීනයේ හිටපු නගරසභා නිලධාරියෙකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇත.
යැං යූලින් නැමැති 69 හැවිරිදි මෙම නිලධාරියා 1993 සිට 2023 දක්වා කාලය තුළ නැන්ජින් නගරයේ විවිධ තනතුරු දරමින් මෙම මූල්‍ය වංචා සිදු කර ඇත. අල්ලස් ලබා ගැනීමට අමතරව ඔහු මුදල් විශුද්ධිකරණය වැනි බරපතල චෝදනාවලට ද වරදකරු වී තිබේ. ඔහු සිය තනතුරු අවභාවිතා කරමින් ඉංජිනේරු කොන්ත්‍රාත්තු ලබා දීම, ඉඩම් පැවරීම සහ මූල්‍ය පහසුකම් ලබා දීම හරහා මෙම නීතිවිරෝධී වත්කම් උපයාගෙන ඇත. චීන ජනාධිපති ෂී ජින්පින්ගේ දූෂණ මර්දන වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස ඔහු නීතියේ රැහැනට හසු විය. මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මට්ටමේ මූල්‍ය වංචාවන්ගෙන් එකක් ලෙස මෙය සැලකෙන අතර, මෙම වැඩසටහන යටතේ රජයේ නිලධාරීන්, බැංකු නිලධාරීන් සහ හමුදා නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
















