ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉවත් කිරීමට වත්මන් රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (22) රාත්‍රී ‘360’ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
එම වැඩසටහනේදී අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන් විසින් හඳුන්වා දුන් නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අදටත් බලාත්මක කිරීමට රජයට හැකියාව පවතින නමුත්, රජය එම පියවර නොගන්නා බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය:
“අපි ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගෙනාවා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී වර්තමාන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ පිරිස ඒකට දැඩිව විරුද්ධ වුණා. ඔවුන් කෑගැහුවේ මේ පනත් අවශ්‍ය නැති බවත්, පවතින පනත මුළුමනින්ම අහෝසි කර දැමිය යුතු බවත් පවසමින්. නමුත් අද එම පිරිසම බලයට පත්වී, එදා විරුද්ධ වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතම පාවිච්චි කරමින් මිනිසුන්ට දස වධ ලබා දෙනවා. බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියෙකු නිරුවත් කර ෂෙල් එකක රඳවා තබා ගැනීම වැනි සිදුවීම් හරහා ඔවුන්ගේ මේ මිලේච්ඡත්වය පැහැදිලි වෙනවා.”
තවදුරටත් අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේ, රජය මෙම නීතිය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා විවිධ කමිටු පත් කරමින් කාලය ගත කරන බවයි.
















