හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (17) උදෑසන සිය නිවසේදී වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, වෙඩි වැදීමෙන් අනතුරුව ඔහුව මුල්ලේරියාව රෝහලට රැගෙන ගියද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇති අතර, සිද්ධිය වූ නිවස පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අද එම ස්ථානයට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස 2020 නොවැම්බර් 27 දින පත්වූ සී.ඩී. වික්‍රමරත්න මහතා, 2023 නොවැම්බර් 23 දක්වා එම ධුරයේ කටයුතු කළේය. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ද ඔහු සේවය කළේය.
















