මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ආන්දෝලනාත්මක ගැටුම මෙතරම් දුරදිග යාමට මූලිකම හේතුව සිරකරුවන් කෙරෙහි නිලධාරීන් තබා තිබූ ‘පූර්ව විශ්වාසය’ බව හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පෙන්වා දෙයි. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඉරිදා දින බන්ධනාගාරය තුළ ඇතිවූ අභ්‍යන්තර ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මිය ගියද, එම තොරතුර බන්ධනාගාර නිලධාරීන් වෙත නිසි ලෙස වාර්තා වී නොතිබූ බවයි. පසුවදා උදෑසන කිසිදු ආරක්ෂක සන්නද්ධ කිරීමකින් තොරව නිලධාරීන් කණ්ඩායමක් බන්ධනාගාරය ඇතුළට යාම බරපතළ වැරැද්දක් බවත්, වසර 38ක සිය බන්ධනාගාර සේවා කාලය තුළ තමන් කිසිදු විටෙක සිරකරුවෙකු කෙරෙහි විශ්වාසයක් තබා නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
සමස්ත බන්ධනාගාර පද්ධතියම මේ වන විට ඛේදනීය තත්ත්වයක පවතින බව පවසන ජගත් වීරසිංහ මහතා, බන්ධනාගාර ඉතිහාසයේම අඳුරුතම පිටුවක් සනිටුහන් කරමින් නිලධාරීන් දස දෙනෙකුගේ ජීවිත අහිමි වීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දැක්වීය. මේ වන විට රට පුරා රැඳවියන් 43,000ක් පමණ සිටිනා වටපිටාවක, එම සමස්ත බර දරාගැනීමට සිටින්නේ නිලධාරීන් 5,500ක වැනි ඉතා සුළු පිරිසක් වීම, පද්ධතිය තුළ පවතින දැඩි පිරිස් බල හිඟය සහ අර්බුදකාරී තත්ත්වය මනාව පැහැදිලි කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















