රජයේ ඉන්ධන අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව හිටපු කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ, ඉන්ධන පරිහරණය සම්බන්ධයෙන් අනුමත ක්‍රමවේද පිළිබඳ නිසි සොයා බැලීමකින් තොරව තම කීර්ති නාමයට හානි කිරීමේ චේතනාවෙන් සමාජ මාධ්‍ය සහ වෙනත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පළකර ඇති බවය.
තම ධුර කාලය තුළ ඉන්ධන ලබාගෙන ඇත්තේ නීත්‍යානුකූලව හිමි ප්‍රතිපාදන සහ අනුමත සීමාවන්ට යටත්ව පමණක් බවත්, ඒ සම්බන්ධ සියලු නිල ලේඛන සහ වාර්තා තමන් සතුව පවතින බවත් ඔහු සඳහන් කරයි. නියෝජ්‍ය කථානායකවරයා ලෙස රාජකාරි කටයුතු කිරීම සඳහා සුදුසු නිල වාහනයක් නොතිබූ බැවින්, බාහිරින් කුලී පදනම මත වාහනයක් ලබාගැනීමට අවස්ථාව තිබූ බවත්, එලෙස වාහනයක් ලබාගත්තේ නම් විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින් එම කුලී ගාස්තු වෙනුවෙන් වැයවීමට තිබූ මුදල් ඉතිරි කරමින් කටයුතු කළ බවද ඔහු පවසයි.
පෙර කථානායකවරුන් සහ නියෝජ්‍ය කථානායකවරුන්ට අදාළව පැවති සම්ප්‍රදායන්, නීති හා රෙගුලාසි අනුව තමන් ධුරයේ කටයුතු කළ බවත් කිසිදු අනීතික කටයුත්තක් සිදුකර නොමැති බවත් අවධාරණය කරන හිටපු කථානායකවරයා, ආණ්ඩුවේ දැනට තනතුරු දරන විගණනයට ලක්විය යුතු පුද්ගලයන් සම්බන්ධ දූෂණ චෝදනා යටපත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය සිදුකර ඇති බව තමන් විශ්වාස කරන බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















