බරපතළ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන් සඳහා ස්වකීය කැමැත්තෙන් ජීවිතය තොර කර ගැනීමට අවසර ලබා දෙන “සහයෝගී මරණයක අයිතිය” පිළිබඳ ඓතිහාසික පනත් කෙටුම්පතට ප්‍රංශ පාර්ලිමේන්තුවේ ජාතික මණ්ඩලය විසින් අවසන් අනුමැතිය ලබා දී ඇත. දීර්ඝ කාලීන වාද විවාදවලින් අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 291ක් සහ විපක්ෂව ඡන්ද 241ක් ලැබිණි.
මෙම නීතියට අනුව, රෝගියා විසින්ම මාරාන්තික ද්‍රව්‍යයක් ශරීරගත කර ගනිමින් ජීවිතය තොර කර ගැනීම මූලික රීතිය ලෙස පිළිගැනේ. රෝගියාට එය තනිව කර ගැනීමට ශාරීරික අපහසුතාවක් පවතින සුවිශේෂී අවස්ථාවලදී පමණක් වෛද්‍යවරයෙකුගේ හෝ හෙදියකගේ සහයෙන් සිදුකරන ‘කරුණා වධය’ (euthanasia) සඳහා අවසර හිමි වේ.
මෙම අයිතිය ලබා ගැනීම සඳහා පුද්ගලයෙකු වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ප්‍රංශ පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතු අතර, ජීවිත අවදානමක් සහිත සුව කළ නොහැකි දරුණු රෝගයකින් පෙළෙන්නෙකු විය යුතුය. එසේම ප්‍රතිකාර මඟින් සමනය කළ නොහැකි දැඩි ශාරීරික හෝ මානසික පීඩාවකින් පෙළීම, ස්වකීය නිදහස් කැමැත්තෙන් තීරණයක් ගැනීමට හැකි සිහිබුද්ධියකින් යුක්ත වීම සහ ඉල්ලීම ලිඛිතව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
මානසික පීඩාවකින් පමණක් පෙළෙන පුද්ගලයන්ට මෙම නීතිය අදාළ නොවන අතර, ඉල්ලීමෙන් පසු දින 15ක් ඇතුළත වෛද්‍ය තීරණය ලබා දිය යුතුය. එසේම, රෝගියාට තම තීරණය වෙනස් කිරීමට අවම වශයෙන් දින දෙකක සිතීමේ කාලයක් හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කවුන්සිලයේ සමාලෝචනයකින් අනතුරුව මෙම නව නීතිය 2027 වසරේ සිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















