මහ භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල් වංචාව සම්බන්ධයෙන් මාස අටකට අධික කාලයක් ගතවී තිබුණ ද, ඒ පිළිබඳ කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බලධාරීන් අසමත් වී ඇති බව ‘Free Lawyers’ සංවිධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය අවධාරණය කරන්නේ, මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී හෝ අදාළ වාර්තා සභාගත කිරීම වගකිවයුතු සියලු පාර්ශ්වයන්ගේ යුතුකමක් බවයි.
ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකින් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණාත්මක කාලවකවානුවක පසුවන අවස්ථාවක මෙම සිදුවීම වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් අනුව, රජයේ ණය කළමනාකරණය කිරීමේ කටයුතු මහ බැංකුවේ සිට මහා භාණ්ඩාගාරය යටතේ ස්ථාපිත නව ආයතනයක් වන රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරීම සිදුවිය. මෙම රාජකාරිය මාරු කිරීමේ සංක්‍රාන්ති සමයේදී නිසි පාලන ක්‍රමවේද අනුගමනය නොකිරීම සහ ආයතන දෙක අතර ඇති වූ ගැටුම් හේතුවෙන්, වංචනිකයින් විසින් මෙම ඩොලර් මිලියන 2.5ක මුදල විදෙස් ගිණුම් වෙත හරවාගෙන ඇති බව ‘Free Lawyers’ සංවිධානය පෙන්වා දෙයි.
මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව, පාලන තන්ත්‍රයේ ඇති බරපතළ අඩුපාඩුවල සෘජු ප්‍රතිඵලයක් බව එම සංවිධානය පවසයි. තවද, මෙම සිද්ධිය මූල්‍ය පාඩුවකට පමණක් සීමා නොවන්නක් බවත්, මෙය එක් නිලධාරියෙකුගේ ජීවිතය පවා අහිමි කළ ඛේදවාචකයක් බවත් ඔවුන් සිහිපත් කරයි. ජාතික ආර්ථිකයට සහ රාජ්‍ය පරිපාලනයේ විනිවිදභාවයට බලපාන මෙම බරපතළ කාරණය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස එම සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
















