ගලෙන්බිඳුණුවැව පොලිස් බල ප්‍රදේශයට අයත් හුරුළුවැවේ ජනතාව නෑම සඳහා භාවිත කරන දෙවැනි පඩිපෙළ සහිත නාන මංකඩ අසලින්, භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින පිටරට නිෂ්පාදිත යුද හමුදා උණ්ඩ 43ක් සොයාගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසයි.පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර, නෑමට පැමිණි තරුණයින් දෙදෙනෙකු සුළඟට ගසාගෙන ගිය මුදල් එකතු කිරීමට යාමේදී රළපනාව දිගේ මෙම උණ්ඩ දැක පොලිසියට දැනුම් දී ඇත. මූලික නිරීක්ෂණවලදී මේවා භාවිතයට නුසුදුසු උණ්ඩ බවට අනාවරණය වී ඇති අතර, මෙම ස්ථානයෙන් උණ්ඩ හමුවූ තෙවැනි අවස්ථාව මෙය වන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් වාර්තා වේ.
















