රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරුවන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇත්තේ, පැමිණිලිකරුගේ තීන්ත අලෙවි ආයතනයකට අයත් වෙළෙඳ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සඳහා මහ නගර සභාවට ගෙවිය යුතු බදු මුදලට අදාළ ලේඛන ලබාදීම කඩිනම් කර දීමේ පොරොන්දුව මතය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් දෙදෙනාව අද (25) පෙරවරු 8.50ට පමණ ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂක අංශය තුළදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
















