මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු මියයමින් ඇති වූ දරුණු ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් පසු, බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි පීඩනය හේතුවෙන් මීළඟ බන්ධනාගාර පිපිරීම ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා විය හැකි බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා මහතා අනතුරු අඟවයි. “සංදේශය” යූ ටියුබ් නාලිකාව සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
බන්ධනාගාර ඝාතන විමර්ශනයට රජය පත් කරන කමිටු පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළ ඒ මහතා, රජය මෙවැනි කමිටු පත් කරන්නේ සත්‍ය වශයෙන්ම විසඳුම් දීමට නොව, මහජන විරෝධය තාවකාලිකව යටපත් කිරීමට පමණක් බව පෙන්වා දුන්නේය. මීට පෙර මහර බන්ධනාගාරයේ සිදු වූ ඝාතන සිදුවීම්වල වින්දිතයන්ටද මෙතෙක් යුක්තිය ඉටු වී නොමැති බව ඔහු සිහිපත් කළේය. සමාජ ක්‍රමය විසින් මිනිසුන් අපරාධකරුවන් කරන බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මරා දැමීම වරදක් නොවන බවට සමාජය තුළ පවතින අමානුෂික මතවාදයන් කනගාටුදායක බවත් පැවසූ නීතිඥවරයා, පද්ධතියේ දෝෂ නිවැරදි නොකර බන්ධනාගාර තුළ සාමය ඇති කළ නොහැකි බව අවධාරණය කළේය.
















